ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි සොරෙන්ටෝ වෙරළේදී 63 හැවිරිදි ග්‍රෙග් ඕ’නීල් නම් පුද්ගලයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා. මේ සිදුවීමත් එක්කම බලධාරීන් විසින් ප්‍රදේශයේ වෙරළ තීරයන් ඉරිදා දහවල් වනතුරු වසා දමන්න පියවර අරන් තියෙනවා. සාක්ෂිකරුවන් පවසන විදිහට මෝරා විසින් ඔහුව දරුණු ලෙස පහරදී ඇදගෙන ගොස් ඇති අතර, මේ වන විටත් ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකිවී නැහැ. මේ සතියේ බටහිර ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ දෙවන මෝර ප්‍රහාරය මෙය වන අතර, මේ වසරේ සිදුවූ තුන්වන මාරාන්තික ප්‍රහාරය ලෙසත් මෙය වාර්තා වෙනවා.
මේ සිදුවීමෙන් පස්සේ බලධාරීන් විසින් ඉතා දුර්ලභ තීරණයක් ගනිමින් අදාළ මෝරා සොයා මරා දැමීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මසුන් ඇල්ලීමේ අමාත්‍ය ජැකී ජාවිස් පවසන්නේ, ප්‍රහාරයට සම්බන්ධ මෝරා හඳුනාගෙන ඇති බවත්, මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි අසාමාන්‍ය පියවරක් ගැනීමට සිදුවූ බවත්ය. මීට වසර දහයකට පසුව මෙවැනි නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි. මේ වන විටත් පොලිස් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදාගෙන මෝරා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, වෙරළ තීරයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඩ්‍රෝන යානා සහ නව තාක්ෂණික ක්‍රමවේදයන් වැඩි කිරීමටත් බලධාරීන් තීරණය කර තියෙනවා.

Discussion & Feedback