තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ පාසලක සහ නිවසක සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ බිහිසුණු අපරාධය සිදුකරලා තියෙන්නේ 14 හැවිරිදි පාසල් සිසුවෙක්. ඔහු මුලින්ම තමන්ගේ සීයා සහ ආච්චිව ඝාතනය කරලා, පසුව පාසලට ගිහින් ගුරුවරුන් පස් දෙනෙක්ව වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා. මේ සිදුවීමෙන් තවත් 23 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. අවසානයේදී එම සිසුවා තමන්ටම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා. සිද්ධිය වන අවස්ථාවේදීත් ඔහු සතුව උණ්ඩ 30කට වඩා ඉතිරිව තිබූ බව වාර්තා වෙනවා.
පාසලේ සිටි සිසුන් පවසන්නේ වෙඩි හඬ ඇසෙන විට තමන් එය රතිඤ්ඤා හඬක් යැයි සිතූ බවයි. බියට පත් සිසුන් පාසල් තාප්පවලින් පැන දිව ගොස් දිවි බේරාගෙන තියෙනවා. මේ සිදුවීමත් සමඟ තායිලන්තයේ ගිනි අවි පාලනය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. අගමැතිවරයා පවසන්නේ මෙය ඉතා හොඳින් සැලසුම් කළ ප්‍රහාරයක් බවයි. සිසුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් තිබූ පීඩනයක් මේ සඳහා හේතු වන්නට ඇති බවට සැක පළ කෙරෙනවා. තායිලන්තයේ ගිනි අවි නීති දැඩි වුවත්, සිවිල් වැසියන් සතු ගිනි අවි ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම විශාල ගැටලුවක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ සිදුවීමෙන් පසු නව ගිනි අවි පාලන නීති හඳුන්වා දීමට රජය තීරණය කරලා තියෙනවා.

Discussion & Feedback