ටික්ටොක් සමාගම විසින් ඇමරිකාවේ මිලියන 15ක පරිශීලකයන් පිරිසක් ඉලක්ක කරගෙන සිදුකළ අත්හදා බැලීමක් සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. සමාගමේ ඇල්ගොරිතම පද්ධතියේ තිබුණු ආරක්ෂිත පියවරක් අත්හිටුවලා, ඒකෙන් පරිශීලකයන්ගේ හැසිරීම වෙනස් වෙන විදිහ ගැන බලන්න තමයි ඔවුන් මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. මේ අත්හදා බැලීම හරිම නින්දිත එකක් කියලා ඇමරිකානු සෙනෙට් සභිකයන් දෙදෙනෙක් වන මාෂා බ්ලැක්බර්න් සහ රිචඩ් බ්ලූමන්තාල් ටික්ටොක් ප්රධාන විධායක නිලධාරියාට ලිපියක් යවමින් චෝදනා කරනවා.
මේ සිද්ධිය වඩාත් බරපතළ වෙන්නේ, මේ අත්හදා බැලීමට ලක්වුණු පිරිස අතර හිටපු 16 හැවිරිදි චේස් නාස්කා කියන තරුණයා සියදිවි නසාගැනීම නිසයි. ඔහුට දිගින් දිගටම මානසික පීඩනය සහ සියදිවි නසාගැනීම සම්බන්ධ වීඩියෝ දර්ශන ඇල්ගොරිතමය හරහා ලැබීම මේ ඛේදවාචකයට හේතු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇත්තටම ටික්ටොක් සමාගම තමන්ගේ ලාභය සහ පරිශීලකයන් වැඩිපුර ඇප් එකේ රඳවා ගැනීමේ අරමුණින් මෙවැනි ආරක්ෂිත පියවර අත්හිටුවීම කොයිතරම් දුරට සදාචාරාත්මකද කියන ප්රශ්නය දැන් මතුවෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් සෙනෙට් සභිකයන් ප්රශ්න 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අත්හදා බැලීම ගැන දැනගෙන හිටපු නිලධාරීන් කවුද, බාල වයස්කරුවන්ව මේ වගේ අවදානම් සහගත පරීක්ෂණයකට යොදාගත්තේ ඇයි වගේ දේවල් ගැන ඔවුන් පැහැදිලි පිළිතුරු ඉල්ලනවා. සැප්තැම්බර් පළමුවැනිදාට කලින් මේ ප්රශ්නවලට පිළිතුරු දෙන්න කියලා ඔවුන් ටික්ටොක් සමාගමට දැනුම් දීලා තියෙනවා. මේ ගැන ටික්ටොක් සමාගම තවමත් නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ.

Discussion & Feedback