පෝලන්තයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළිවී තිබෙන්නේ එරට රෝහල්, ගුවන් තොටුපළවල් සහ අධිකරණ පද්ධති ඇතුළු රාජ්‍ය ආයතන දස දහස් ගණනක් සයිබර් ප්‍රහාරවලට ලක්වීමේ දැඩි අවදානමක පවතින බවයි. රොබට් කෘචෙක් සහ කමිල් ස්සූරොව්ස්කි නමැති පෝලන්ත ආරක්ෂක පර්යේෂකයන් දෙදෙනෙකු විසින් ලාස් වේගාස්හි පැවති ‘ඩෙෆ් කොන්’ (Def Con) සයිබර් ආරක්ෂණ සමුළුවේදී මේ බව අනාවරණය කළා. ඔවුන් පවසන පරිදි, පෝලන්තයේ රාජ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවි ලක්ෂ දෙකහමාරක පමණ ආරක්ෂක දෝෂ පවතින අතර, ඉන් බොහෝමයක් ඉතා පහසුවෙන් හැකර්වරුන්ට ප්‍රවේශ විය හැකි මට්ටමේ පවතිනවා.
මෙම පර්යේෂකයන් සොයාගෙන ඇති අන්දමට, ඇතැම් මෘදුකාංග සමාගම් තම මෘදුකාංගවල පවතින ආරක්ෂක දෝෂ නිවැරදි කිරීමට උනන්දුවක් නොදැක්වීම සහ ඒවා වාර්තා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. විශේෂයෙන්ම ‘Pad CMS’ නමැති ජනප්‍රිය මෘදුකාංගයේ පැවති දෝෂයක් නිසා මුරපදයක්වත් නොමැතිව රාජ්‍ය වෙබ් අඩවි 300කට වඩා ප්‍රවේශ වීමට ඔවුන්ට හැකි වුණා. එපමණක් නොව, පෝලන්තයේ අධිකරණ පද්ධතියෙන් තුනෙන් දෙකක්ම මෙම සයිබර් අවදානමට ලක්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
රුසියානු හැකර්වරුන්ගෙන් එල්ල වන සයිබර් ප්‍රහාර හමුවේ පෝලන්තය තම ආරක්ෂාව තර කර ගැනීමට උත්සාහ කරන මොහොතක මෙම අනාවරණය ඉතා වැදගත් වෙනවා. තමන් සොයාගත් මෙම දෝෂ පිළිබඳව රජයේ නිල ආයතන දැනුවත් කිරීමට පියවර ගත් බවත්, රටේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback