පෝලන්තයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ එරට රෝහල්, ගුවන් තොටුපළවල් සහ අධිකරණ ඇතුළු රාජ්ය ආයතන දස දහසකට වැඩි ප්රමාණයක් සයිබර් ප්රහාරවලට ලක්වීමේ දැඩි අවදානමක පවතින බවයි. රොබට් කෘසෙක් සහ කමිල් ස්කුරොව්ස්කි නමැති සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් දෙදෙනා විසින් ලාස් වේගාස්හි පැවති ආරක්ෂක සමුළුවකදී මේ බව අනාවරණය කළා. ඔවුන් පවසන පරිදි, පෝලන්තයේ රාජ්ය වෙබ් අඩවි ලක්ෂ දෙකහමාරක පමණ ආරක්ෂක දෝෂ පවතින අතර, ඇතැම් දෝෂ ඉතා පහසුවෙන් ප්රයෝජනයට ගෙන පද්ධතිවලට ඇතුළු වීමට හැකර්වරුන්ට හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම, බහුලව භාවිත වන ‘Pad CMS’ මෘදුකාංගයේ පවතින දෝෂ නිසා මුරපදයක් නොමැතිව වුවද රාජ්ය වෙබ් අඩවි 300කට අධික ප්රමාණයකට ඇතුළු වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මීට අමතරව, පෝලන්තයේ අධිකරණ පද්ධතියෙන් තුනෙන් දෙකකටම බලපාන ආකාරයේ බරපතළ ආරක්ෂක දෝෂයක්ද ඔවුන් සොයාගෙන තිබෙනවා. මෘදුකාංග නිෂ්පාදකයන් මෙම දෝෂ නිවැරදි කිරීමට උනන්දුවක් නොදැක්වීම සහ ආරක්ෂක ගැටලු වාර්තා කිරීමට නිසි ක්රමවේදයක් නොමැති වීම මෙම තත්ත්වය තවත් උග්ර කර තිබෙනවා.
රුසියාව විසින් එල්ල කරන ලද සයිබර් ප්රහාරවලින් පසු පෝලන්තය තම ආරක්ෂාව තර කර ගැනීමට උත්සාහ කරන මොහොතක මෙම තොරතුරු හෙළි වීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මෙම පර්යේෂකයන් සොයාගත් සියලුම දෝෂ පිළිබඳව රජය දැනුවත් කර ඇති අතර, එමගින් රටේ සයිබර් ආරක්ෂාව මීට වඩා යම් මට්ටමකින් හෝ ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

Discussion & Feedback