පසුගිය වසරේ ඇමරිකාවේ යූටා වැලි විශ්වවිද්‍යාලයේදී ප්‍රසිද්ධ ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් බරපතළ ආරක්ෂක දුර්වලතා රැසක් අනාවරණය වී තිබෙනවා. මෙම වාර්තාවට අනුව, විශ්වවිද්‍යාල බලධාරීන් නිසි ආරක්ෂක සැලැස්මක් සකස් කිරීමට අපොහොසත් වී ඇති අතර, උත්සවයේ ආරක්ෂක තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම පාහේ ‘ටර්නින් පොයින්ට් යූඑස්ඒ’ සංවිධානයට පවරා තිබුණා. උස් ගොඩනැගිලිවලින් වටවූ එළිමහන් ස්ථානයක් ආරක්ෂිත නොවන බවට විශ්වවිද්‍යාල නිලධාරීන් කලින්ම අනතුරු ඇඟවුවත්, සංවිධායකයින්ගේ බලපෑම මත එම ස්ථානයම තෝරා ගැනීම විශාල අත්වැරදීමක් බවයි පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, විශ්වවිද්‍යාල පොලිසිය සහ කර්ක්ගේ පෞද්ගලික ආරක්ෂක කණ්ඩායම අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීමත්, උත්සවයට පෙර ඒකාබද්ධ ආරක්ෂක සාකච්ඡාවක් පවත්වා නොතිබීමත් බරපතළ අඩුපාඩුවක් ලෙස වාර්තාවේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම වහලවල් නිරීක්ෂණය කිරීමට ඩ්‍රෝන යානා භාවිත නොකිරීම සහ ප්‍රේක්ෂකයන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි මූලික ආරක්ෂක පියවරයන් පවා මගහැරී තිබුණා. කෙසේ වෙතත්, කිසිදු නිලධාරියෙකු හිතාමතාම මෙම අනතුර සිදුකළ බවට සාක්ෂි නොමැති බව පරීක්ෂකයන් පවසනවා.
මේ වන විට චාලි කර්ක්ගේ පවුලේ අය විශ්වවිද්‍යාලයේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන අතර, ඔවුන් පවසන්නේ මෙම ඛේදවාචකයට විශ්වවිද්‍යාල පරිපාලනය වගකිව යුතු බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු වන ටයිලර් රොබින්සන් තමන් නිවැරදිකරු බව පවසමින් අධිකරණයේ පෙනී සිටින අතර, ඔහුට එරෙහිව මරණ දණ්ඩනය ලබා දෙන ලෙසට නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා. අනාගතයේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට විශ්වවිද්‍යාලය විසින් ආරක්ෂක ක්‍රමවේදයන් රැසක් යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback