පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී යූටා වැලි විශ්වවිද්‍යාලයේදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශවල බරපතල අඩුපාඩු රැසක් අනාවරණය වී තිබෙනවා. මෙම වාර්තාවට අනුව, උත්සවය පැවැත්වීමට පෙර නිසි ආරක්ෂක සැලැස්මක් සකස් කර නොතිබූ අතර, ආරක්ෂක තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම කර්ක්ගේ සංවිධානය වෙත පවරා තිබීම විශාල ගැටලුවක් බව පෙන්වා දී තිබෙනවා. උස් ගොඩනැගිලිවලින් වටවූ එළිමහන් ස්ථානයක් උත්සවය සඳහා තෝරා ගැනීම අනතුරුදායක බව විශ්වවිද්‍යාල නිලධාරීන් පවා පවසා තිබුණත්, සංවිධායකයින්ගේ බලපෑම මත එය නොසලකා හැරීම මෙම ඛේදවාචකයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
එමෙන්ම, විශ්වවිද්‍යාල පොලිසිය සහ කර්ක්ගේ පෞද්ගලික ආරක්ෂක කණ්ඩායම අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීමත්, උත්සවයට පෙර ඒකාබද්ධ ආරක්ෂක සාකච්ඡාවක් පවත්වා නොතිබීමත් බරපතල අතපසුවීමක් ලෙස වාර්තාවේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම උසස් මට්ටමේ උත්සවවලදී අනිවාර්යයෙන්ම සිදුකළ යුතු ඩ්‍රෝන කැමරා භාවිතය හෝ බෑග් පරීක්ෂා කිරීම වැනි ආරක්ෂක පියවරයන් කිසිවක් මෙහිදී ක්‍රියාත්මක වී නැහැ. කෙසේ වෙතත්, කිසිදු නිලධාරියෙකු හිතාමතාම මෙම අනතුර සිදුකළ බවට සාක්ෂි නැති බව පරීක්ෂකයන් පවසනවා. කර්ක්ගේ පවුලේ අය මෙම වාර්තාවෙන් තමන්ගේ සැකයන් තහවුරු වී ඇති බව පවසමින් විශ්වවිද්‍යාල පරිපාලනයෙන් සාධාරණයක් ඉල්ලා සිටිනවා. දැනට මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටින අතර, සිද්ධියෙන් පසු විශ්වවිද්‍යාලය සිය ආරක්ෂක ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගනිමින් සිටිනවා.

Discussion & Feedback