අභ්යවකාශ විද්යාඥයන් විසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.5ක් තරම් ඈතින් පිහිටි මන්දාකිණියක එකිනෙක ගැටීමට ආසන්නව පවතින අති දැවැන්ත කළු කුහර තුනක් සොයාගෙන තියෙනවා. ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය භාවිතයෙන් සිදුකළ මේ අපූරු නිරීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් කාලයේදී කළු කුහර මෙතරම් වේගයෙන් විශාල වුණේ කෙසේද යන්නයි. මෙම මන්දාකිණිය අපට පෙනෙන්නේ මහා පිපිරුමෙන් වසර බිලියන 1.3කට පසුව පැවති ආකාරයටයි. මේ කළු කුහර තුන එකිනෙක ඒකාබද්ධ වී තවත් විශාල කළු කුහරයක් නිර්මාණය වීමේ ක්රියාවලියක නිරත වෙමින් පවතින බවයි විද්යාඥයන් පවසන්නේ.
මෙම මන්දාකිණියේ මධ්යයේ කළු කුහර දෙකක් ආලෝක වර්ෂ 620ක පරතරයකින් පිහිටා ඇති අතර, තුන්වන කළු කුහරය මධ්යයේ සිට ආලෝක වර්ෂ 5,500ක් ඈතින් පිහිටා තිබෙනවා. මේවායින් එකක් සූර්යයා මෙන් මිලියන 80ක ස්කන්ධයකින් යුක්ත වීම විශේෂත්වයක්. ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්යාඥයන් පවසන පරිදි, කළු කුහර මෙලෙස ඒකාබද්ධ වීම විශ්වයේ මුල් කාලයේදී ඒවා වේගයෙන් වර්ධනය වීමට බලපෑ ප්රධාන සාධකයක්. මෙම සොයාගැනීම මගින් අනාගතයේදී ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාර හරහා තවත් මෙවැනි සිදුවීම් හඳුනා ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback