අභ්‍යවකාශ විද්‍යාඥයන් පිරිසක් විසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.5ක් තරම් ඈතින් පිහිටි මන්දාකිණියක එකිනෙක ගැටීමට ආසන්නව පවතින දැවැන්ත කළු කුහර තුනක් සොයාගෙන තියෙනවා. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් දත්ත ඔස්සේ මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. විශ්වය බිහිවී වසර බිලියන 1.3ක් වැනි කෙටි කාලයකදී මෙවැනි දැවැන්ත කළු කුහර එකිනෙක ගැටීම මගින් ඒවා තවත් විශාල වීමට මග පාදන බවට මෙය කදිම සාක්ෂියක් වෙනවා.
මෙම මන්දාකිණිය තුළ පවතින කළු කුහර තුනෙන් දෙකක් මන්දාකිණියේ කේන්ද්‍රයේ පිහිටා ඇති අතර, අනෙක කේන්ද්‍රයේ සිට ආලෝක වර්ෂ 5,500ක් දුරින් පිහිටා තිබෙනවා. මේවායින් එකක් සූර්යයා මෙන් මිලියන 80ක ස්කන්ධයකින් යුක්ත වන අතර, අනෙක් කුඩා කළු කුහරය ඉතා වේගයෙන් වායූන් ගිලගනිමින් වර්ධනය වෙමින් පවතිනවා. විද්‍යාඥයන් පවසන විදියට, මන්දාකිණි එකිනෙක ගැටීම නිසා මෙම කළු කුහර එකම ස්ථානයකට එක්වී තිබෙනවා. අනාගතයේදී මේවා එකිනෙක ඒකාබද්ධ වී තවත් විශාල කළු කුහරයක් නිර්මාණය වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.
මෙම සොයාගැනීම මගින් මුල්කාලීන විශ්වයේ කළු කුහර මෙතරම් වේගයෙන් විශාල වූයේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවෙලා තියෙනවා. අභ්‍යවකාශයේ සිදුවන මෙවැනි අද්භූත ක්‍රියාවලීන් මගින් විශ්වයේ පරිණාමය ගැන අපට තවත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ දියුණු තාක්ෂණය නිසා මෙවැනි දුරස්ථ දසුන් පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අද අපට හැකිවෙලා තියෙනවා.

Discussion & Feedback