අභ්යවකාශ විද්යාඥයන් විසින් විශ්වයේ මෙතෙක් නිර්මාණය කළ විශාලතම ද්විමාන සිතියම එළිදක්වා තිබෙනවා. මේ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ ‘Dark Energy Spectroscopic Instrument’ හෙවත් DESI කණ්ඩායම විසින්. මෙහි පික්සල් ට්රිලියන 5.6ක් අඩංගු වන අතර, අභ්යවකාශයේ තියෙන තරු, මන්දාකිණි සහ තවත් විශ්වීය වස්තූන් බිලියන 4ක් පමණ මේ සිතියමට ඇතුළත්. වසර 13ක් පුරා ලබාගත් දුරේක්ෂ දත්ත 263,000කට වඩා වැඩි ප්රමාණයක් එකතු කරලා තමයි මේ දැවැන්ත කාර්යය සාර්ථක කරගෙන තියෙන්නේ. මේ සිතියම මගින් අහසේ විශාල ප්රදේශයක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කරන්න විද්යාඥයන්ට හැකියාව ලැබෙනවා.
මේ සිතියම හුදෙක් ද්විමාන සිතියමක් විතරක් නෙවෙයි, එය විශ්වයේ ත්රිමාන සිතියම්ගත කිරීමේ මූලික පදනම ලෙසත් ක්රියා කරනවා. විශේෂයෙන්ම විශ්වයේ ප්රසාරණයට බලපාන අභිරහස් ‘අඳුරු ශක්තිය’ (Dark Energy) ගැන අධ්යයනය කරන්න මේ දත්ත ඉතා වැදගත් වෙනවා. දැනටමත් මේ දත්ත සමුදාය පදනම් කරගෙන විද්යාත්මක පර්යේෂණ පත්රිකා 1,800කට වඩා ප්රකාශයට පත් කරලා තියෙනවා. අනාගතයේදී අභ්යවකාශය ගැන තවත් ගැඹුරින් සොයා බැලීමටත්, කෘත්රිම බුද්ධිය භාවිතයෙන් විශ්වයේ රහස් හෙළි කරගන්නත් මේ සිතියම ලොකු පිටුවහලක් වේවි. අභ්යවකාශ ලෝලීන්ට සහ විද්යාඥයන්ට මේ සිතියම හරහා විශ්වයේ අසිරිය අලුත්ම කෝණයකින් දැකගන්න පුළුවන්.

Discussion & Feedback