දිනෙන් දින දියුණු වන කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කරමින් අද වන විට ඉතා දක්ෂ ලෙස මිනිසුන්ව රවටන වංචාකාරයන් බහුල වෙලා. විශේෂයෙන්ම කෙනෙකුගේ හඬ සහ දුරකථන අංකය පවා අනුකරණය කරමින් සිදුකරන මේ වංචා නිසා බොහෝ දෙනෙක් අසරණ වෙනවා. මේ ගැටලුවට විසඳුමක් විදියට පැට්රික් සහ රයන් කෝෆ්ලින් කියන සහෝදරයන් දෙදෙනා විසින් ‘සැවි’ (Savi) නමින් අලුත්ම ආරක්ෂක ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. ඔවුන්ගේ මවට සිදුවූ මෙවැනිම බිහිසුණු අත්දැකීමකින් පසුවයි ඔවුන් මේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ.
මේ ඇප් එක මගින් දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ සහ ඊමේල් හරහා එන සැක සහිත දේවල් තත්‍ය කාලීනව හඳුනාගෙන ඒවා වංචනික ඒවාදැයි පරීක්ෂා කර බලන්න පුළුවන්. දැනටමත් ඔවුන් ‘ස්කෑම් වයිස්’ (Scam Wise) නමින් නොමිලේ භාවිතා කළ හැකි වෙබ් අඩවියක් හරහා විශාල පිරිසකට උදව් කර තිබෙනවා. අලුතින් හඳුන්වා දුන් මේ ඇප් එක හරහා අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට තමන්ගේ පෞද්ගලික තොරතුරු සහ මුදල් වංචාකාරයන්ගෙන් ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා.
අද වන විට ලොව පුරා මිලියන ගණනක් ජනතාව මෙවැනි වංචාවලට ගොදුරු වී විශාල මුදලක් අහිමි කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර පවා මේ උගුල්වලට හසුවන බව පර්යේෂණවලින් පෙනී යනවා. ඒ නිසා තාක්ෂණය දියුණු වන තරමටම අපේ ආරක්ෂාව ගැනත් වැඩිපුර සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ‘සැවි’ වැනි මෙවලම් භාවිත කිරීමෙන් ඔබටත් මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් බේරී ආරක්ෂිතව සිටින්න පුළුවන්.

Discussion & Feedback