සැන් ෆ්රැන්සිස්කෝ නගරාධිපති ඩැනියෙල් ලූරි, නගරය නව තාක්ෂණික අත්හදා බැලීම් සඳහා කදිම තෝතැන්නක් බව පැවසුවත්, මේ වන විට එම තාක්ෂණය නිසා ඇතිවී තිබෙන ගැටලු හමුවේ ඔහු දැඩි තීරණයකට එළඹ තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය ජූලි 04 වැනිදා නිදහස් දින සැමරුම් අතරතුරදී, මාර්ගවල ගමන් කරමින් තිබූ Waymo ස්වයංක්‍රීය රොබෝ ටැක්සි විශාල ප්‍රමාණයක් එකවර අක්‍රිය වී මාර්ග අවහිර කිරීම නිසා දහස් ගණනක් ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. මෙම සිදුවීමත් සමඟ නගරාධිපතිවරයා ප්‍රාන්ත බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ස්වයංක්‍රීය රථ සඳහා පවතින නීති රීති තවදුරටත් දැඩි කරන ලෙසයි.
ලූරි පවසන පරිදි, සාමාන්‍ය කාලගුණික තත්ත්වයන් යටතේ පමණක් නොව, මෙවැනි හදිසි තදබදයක් ඇති වන අවස්ථාවලදීත් මෙම රථවලට නිසි ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුයි. ඒ අනුව, අක්‍රිය වන රථ වහාම මාර්ගයෙන් ඉවත් කිරීමටත්, තදබදය පවතින විට ගමන් මාර්ග වෙනස් කර ගැනීමටත් සමාගම්වලට හැකියාව තිබිය යුතු බව ඔහු අවධාරණය කරනවා. එපමණක් නොව, මෙවැනි හදිසි අවස්ථාවලදී තත්‍ය කාලීන දත්ත නගර බලධාරීන් සමඟ බෙදා ගැනීම අනිවාර්ය කිරීමටත් ඔහු යෝජනා කර තිබෙනවා.
දැනට සැන් ෆ්රැන්සිස්කෝ නුවර Waymo රථ දහසක් පමණ ධාවනය වන අතර, ඉදිරියේදී තවත් සමාගම් රැසක් මෙම ක්ෂේත්රයට පිවිසීමට සූදානමින් සිටිනවා. කෙසේ වෙතත්, තාක්ෂණික දියුණුවට වඩා ජනතාවගේ ආරක්ෂාව සහ මාර්ගවල සුමට ගමනාගමනය වැදගත් බව පෙන්වා දෙන නගරාධිපතිවරයා, මෙම ස්වයංක්‍රීය රථ සමාගම්වලට දැඩි වගකීමක් පැවරිය යුතු බවයි වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback