ලෝකයේ ප්‍රධානතම මතක චිප් නිෂ්පාදකයා වන සැම්සුන් සමාගම පවසන විදියට, දැනට ලෝකය පුරා පවතින RAM චිප් හිඟය ඉදිරි වසර කිහිපය තුළ තවත් උග්‍ර වීමට ඉඩ තියෙනවා. මේ තත්ත්වය 2027 වසරේදී උපරිමයට ළඟා වී 2028 වසර දක්වාම පවතිනු ඇති බවයි ඔවුන් අනාවරණය කරන්නේ. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමඟ දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල වශයෙන් චිප් අවශ්‍ය වීම මෙම හිඟයට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා. මේ නිසා ප්රමුඛ පෙළේ AI සමාගම් සැම්සුන් සමඟ දිගුකාලීන ගිවිසුම්වලට එළඹෙමින් චිප් තොග වෙන් කරවා ගැනීමට උත්සාහ කරනවා.
මෙම චිප් හිඟය සහ ඉහළ යන මිල ගණන් හේතුවෙන් ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංගවල මිල ගණන් ඉහළ යාමේ අවදානමක් තියෙනවා. දැනටමත් සැම්සුන් සහ ඇපල් වැනි සමාගම් තම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා ඇති අතර, Nvidia වැනි සමාගම්වල ග්‍රැෆික් කාඩ් මිලත් 20% සිට 30% දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ වෙනවා. නිෂ්පාදකයින් වැඩිපුරම අවධානය යොමු කරන්නේ AI දත්ත මධ්‍යස්ථාන සඳහා චිප් සැපයීමට නිසා, සාමාන්‍ය පාරිභෝගිකයින්ට මිල අධික උපාංග මිලදී ගැනීමට සිදුවීම ඉදිරියේදී සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න පුළුවන්.
මේ තත්ත්වය නිසා සැම්සුන් සමාගමේ අර්ධ සන්නායක අංශයේ ආදායම වාර්තාගත ලෙස ඉහළ ගියත්, ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් සහ රූපවාහිනී අංශවල ලාභය අඩුවෙලා තියෙනවා. චිප් මිල ඉහළ යාම නිසා නිෂ්පාදන වියදම වැඩිවීම ඊට හේතුවයි. කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ සැම්සුන් සමාගම උත්සාහ කරන්නේ දිගුකාලීන ගිවිසුම් හරහා තම නිෂ්පාදන ධාරිතාව ස්ථාවර කරගෙන කර්මාන්තයේ පවතින උච්චාවචනයන්ගෙන් බේරී සිටීමටයි.

Discussion & Feedback