ඔබේ ගෙදර තියෙන සැම්සුන් ස්මාර්ට් ටීවී එකේ තියෙන සමහර ඇප්ස් නිසා ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය පිටස්තර අයට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා අලුත්ම ආරක්ෂක පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. මේ ඇප්ස් හරහා ඔබේ ටීවී එක ‘රෙසිඩෙන්ෂල් ප්‍රොක්සි’ (resproxy) ජාලයක කොටසක් බවට පත් කරලා, ඒ හරහා නීති විරෝධී දේවල් කරන්න සයිබර් අපරාධකරුවන්ට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම සැම්සුන් ආයතනය විසින්ම ‘එඩිටර්ස් චොයිස්’ ලෙස නිර්දේශ කරපු සරල ක්‍රීඩා ඇප්ස් පවා මේ වගේ අනතුරුදායක කේත අඩංගු කරගෙන තියෙන එක තමයි ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ.
මේ ගැන දැනගත්තට පස්සේ සැම්සුන් සමාගම වහාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අනුව, අන්තර්ජාල සම්බන්ධතාවය පිටස්තර අයට බෙදාහරින සියලුම ඇප්ස් තමන්ගේ ස්මාර්ට් ටීවී ප්ලැට්ෆෝම් එකෙන් ඉවත් කරන්නත්, අලුතින් ඒ වගේ ඇප්ස් ඇතුළත් කිරීම තහනම් කරන්නත් ඔවුන් තීරණය කරලා තියෙනවා. මේ වගේ ප්‍රොක්සි මෘදුකාංග මගින් හැකර්වරුන්ට ඔබේ ගෙදර අන්තර්ජාලය හරහා සයිබර් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නිසා, ඔබ පාවිච්චි කරන ඇප්ස් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා ආරක්ෂක අංශ අනතුරු අඟවනවා.
මේ වගේ දේවල් වෙන්නේ ඇප් එකේ තියෙන සරල කේත කිහිපයක් නිසා. ඇප් එක ඕපන් නොකළත්, ටීවී එක ඔන් එකේ තියෙන වෙලාවට මේ හරහා ඔබේ අන්තර්ජාලය හොරෙන් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ නිසා සැම්සුන් සමාගම මේ පියවර ගත්තේ පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නයි. කොහොම වුණත්, මේ වගේ සිදුවීම් නිසා ස්මාර්ට් උපාංග පාවිච්චි කරනකොට අපි හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.

Discussion & Feedback