සජීවී අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂකයෙක් වන සම්පත් මනම්පේරිව තංගල්ල මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. පසුගිය සිකුරාදා (11) දින තංගල්ල මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා ඉදිරියේ මෙම ඇප අයදුම්පත කැඳවනු ලැබූ අතර, එහිදී ඔහුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.
මොහුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අවි ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. පසුව වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම සජීවී අත්බෝම්බය පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව මෙම ඇප අයදුම්පත තංගල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Discussion & Feedback