අපේ රටටම ආවේණික වූ වටිනා සත්වයෙක් වන ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ශ්‍රී ලංකා දිවියන් සුරැකීමේ දිනය 2026’ උත්සවය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා. මෙම වැඩසටහන එළඹෙන සෙනසුරාදා (01) දින පස්වරු 2.00 සිට 5.00 දක්වා කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන ස්ථානයේදී පැවැත්වෙනවා. පරිසරවේදීන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාසල් සිසුන් සහ තරුණ නායකයන් විශාල පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ රටේ පරිසර පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට උදව් වන දිවියන් වඳවී යාමෙන් බේරා ගැනීම සඳහා නව උපාය මාර්ග සාකච්ඡා කිරීමයි. විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ක්‍රමවේදයන් ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන අතර, තරුණ පරපුරට වනජීවී විශේෂඥයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. දිවියන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක් වනජීවී සංරක්ෂණ කටයුත්තක් පමණක් නොවෙයි, එය අපේ ස්වභාවික උරුමය රැකගැනීම සහ තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අප සැමගේම ජාතික වගකීමක් බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, සිවිල් සංවිධාන සහ විදෙස් තානාපති කාර්යාල නියෝජිතයන් ඇතුළු විවිධ ක්ෂේත්රවල පිරිස් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි. දිවියන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීම මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback