රටේ වී නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර තිබියදී රජය පිටරටින් සහල් ආනයනය කිරීම විශාල ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගලේවෙල පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.5ක් වුවත්, දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙවැනි තත්ත්වයක් තුළ රජය මෙට්‍රික් ටොන් 382,000ක සහල් ප්‍රමාණයක් ආනයනය කිරීම හරහා ගොවීන් අසරණ කර ඇති බවත්, විපක්ෂයේ සිටියදී සහල් ආනයනයට විරුද්ධ වූ පිරිසම අද එය සිදු කිරීම කනගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 137ක් වැය වුවත්, රජය සහතික මිල ලෙස ලබා දෙන්නේ රුපියල් 120ක් පමණක් බවත්, ඒ නිසා ගොවියාට කිලෝවකින් රුපියල් 17ක පාඩුවක් සිදුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 7,500ක් වෙන් කළත්, ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් නැති බවත්, ගම්වල වී මිලදී ගන්නා බවට පුවරු ප්‍රදර්ශනය කළත් ඇත්තටම වී මිලදී ගැනීමක් සිදු නොවන බවත් ඔහු චෝදනා කරනවා. ඉදිරියේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස හමුවේ ගොවීන් තවත් අමාරුවේ වැටිය හැකි බැවින්, රජය වහාම මැදිහත් වී ගොවියාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

Discussion & Feedback