රුසියාව විසින් යුක්රේනයේ කියෙව් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගෙන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරවලින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 12 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි කියෙව් හමුදා පරිපාලනය පවසන්නේ. ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි සහ ගබඩා රැසකට දැඩි හානි සිදුවී ඇති අතර, සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටිය හැකි බවට කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ බිය පළ කරනවා. බුචා, බ්‍රොවාරි සහ ෆාස්ටිව් වැනි දිස්ත්‍රික්කවලටත් මෙම ප්‍රහාරවල බලපෑම් එල්ල වී තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරාම රුසියාව විසින් කියෙව් වෙත එල්ල කරන ප්‍රහාර තීව්ර කර ඇති අතර, ගුවන් අනතුරු ඇඟවීමේ සයිරන් නාද පැයකට වැඩි කාලයක් පුරා ඇසෙන්නට ලැබුණා. යුක්රේන බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගුවන් අනතුරු ඇඟවීම් කිසිවිටෙකත් නොසලකා හරින්න එපා කියායි. මේ අතර, දෙපාර්ශවයම සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට එකිනෙකාට චෝදනා කරගන්නවා. රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා තමන්ට තවදුරටත් ඇමරිකාවේ නිෂ්පාදිත පැට්‍රියට් මිසයිල පද්ධති අවශ්‍ය බව යුක්රේනය සිය මිත්‍ර රටවලින් නැවත වරක් ඉල්ලා සිටිනවා. යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, දෙරටේම සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback