යුක්රේනයේ දත්ත මධ්‍යස්ථාන සහ අන්තර්ජාල සේවා සපයන ආයතන ඉලක්ක කරමින් රුසියාව විසින් දියත් කර ඇති නවතම ප්‍රහාර මාලාව හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. කියෙව් අගනුවර පිහිටි ව්‍යාපාරික මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, දත්ත මධ්‍යස්ථානයකටද බරපතළ හානි සිදුවුණා. මෙම ප්‍රහාර නිසා දහස් ගණනකගේ අන්තර්ජාල සම්බන්ධතා බිඳ වැටී ඇති අතර, අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු පවා අඩපණ වී ඇති බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාවේ මෙම ක්‍රියාව හුදෙක් යුදමය ඉලක්කයක් නොව, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය අඩපණ කිරීමේ කුරිරු උත්සාහයක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෙම දත්ත මධ්‍යස්ථාන යුක්රේන හමුදා බුද්ධි අංශ විසින් භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, යුක්රේන බලධාරීන් පවසන්නේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් ලබා දෙන අත්‍යවශ්‍ය සේවාවන් පවා මෙම ප්‍රහාර නිසා අවදානමට ලක්ව ඇති බවයි. මේ වන විට ඇතැම් සමාගම් තම දත්ත විදේශීය සේවාදායකයන් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. යුක්රේන තාක්ෂණික උපදේශකවරුන් පවසන්නේ අන්තර්ජාල සේවා සඳහා යම් යම් බාධා ඇති විය හැකි වුවත්, රටේ අන්තර්ජාල ජාලය විමධ්‍යගතව පවතින බැවින් මුළුමනින්ම සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටීමක් සිදු නොවන බවයි. ශීත සෘතුව ළඟා වෙමින් පවතින මොහොතක, රුසියාව මෙලෙස බලශක්ති සහ සන්නිවේදන යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර උත්සන්න කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback