නයිජර් රාජ්‍යයේ අගනුවර වන නියාමි නුවර පසුගිය සෙනසුරාදා අලුයම හදිසි පිපිරීම් සහ වෙඩි හුවමාරු ශබ්ද සමඟින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. ජනාධිපති මන්දිරය සහ ප්‍රධාන ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මෙම කුමන්ත්‍රණ උත්සාහය ක්‍රියාත්මක වුවත්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ අප්‍රිකානු බලකායේ සහාය ඇතිව නයිජර් හමුදාව විසින් එය සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කළ බව රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට රටේ තත්ත්වය ජනාධිපති අබ්දුරහ්මාන් තියානි ප්රමුඛ රජයේ පාලනය යටතේ පවතින බවයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීමෙන් පසු නියාමි නුවර සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් නැවත විවෘත කර තිබෙනවා. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට සැක කෙරෙන සොල්දාදුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව රාජ්‍ය මාධ්‍ය මගින් පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස හෝ සිදුවූ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් හෙළි කර නැහැ. මාලි සහ බුර්කිනා ෆාසෝ වැනි රටවල් මෙන්ම නයිජර් ද බටහිර රටවල් සමඟ සබඳතා අත්හැර රුසියාව සමඟ ආරක්ෂක ගිවිසුම් ශක්තිමත් කරගෙන සිටින පසුබිමක, මෙම අභ්‍යන්තර කැරැල්ල හමුදාව තුළ පවතින අසහනය මනාව පෙන්නුම් කරන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. කලාපය තුළ පවතින ජිහාඩ් සටන්කාමී තර්ජන මැඩපැවැත්වීමට රුසියානු සහාය තවදුරටත් ලබා ගන්නා බව නයිජර් රජය පවසනවා.

Discussion & Feedback