පසුගිය වසන්ත සමයෙන් පසු රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගෙන දියත් කළ දරුණුතම ප්‍රහාර මාලාව පසුගියදා වාර්තා වුණා. කීව් අගනුවර ඇතුළු ප්‍රදේශ 11ක් ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්‍රහාර නිසා විශාල විනාශයක් සිදුව තිබෙනවා. රුසියානු හමුදා විසින් කීව් නුවරට විදුලිය සපයන ප්‍රධානතම බලාගාරයක් වන ට්රයිපිල්ස්කා බලාගාරයට ද බරපතල හානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ වන විට යුක්රේනයේ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටීම් වාර්තා වන අතර, බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. විශේෂයෙන්ම දහවල් කාලයේදී අධික විදුලි පරිභෝජනයක් සහිත උපකරණ භාවිතය සීමා කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු කීව් නුවර පුරා ඝන දුමාරයක් පැතිරී ඇති අතර, ජනතාවට තම නිවෙස්වල ජනෙල් වසා තබන ලෙස ද දැනුම් දී තිබෙනවා. 2022 වසරේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට සෑම ශීත සෘතුවකදීම මෙවැනි ප්‍රහාර එල්ල වුවත්, මෙවර එල්ල වූ ප්‍රහාරය ඉතාම දරුණු එකක් බවයි යුක්රේන අගමැතිවරයා පවසන්නේ.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව සාමාන්‍ය ජන ජීවිතය අඩපණ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර දියත් කරන බවයි. මේ වන විටත් බලධාරීන් හානි වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත්, ඉදිරියේදීත් මෙවැනි ප්‍රහාර තවදුරටත් එල්ල වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවනවා.

Discussion & Feedback