යුක්රේනයේ සංචාරයක නිරත වුණු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන් ගත් දුම්රිය මාර්ගයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ බරපතළ සිදුවීමක් වාර්තා වෙනවා. කියෙව් නුවර සිට පෝලන්ත දේශසීමාව බලා ගමන් ගත් ජොන්සන් ඇතුළු පිරිස ගමන් ගත් දුම්රිය පිටත්ව ගොස් සුළු වේලාවකට පසුව, එම මාර්ගයේම ගමන් ගත් තවත් දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාසනාවකට මෙන් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. යුක්රේන දුම්රිය සේවය පවසන පරිදි, ආරක්ෂක හේතූන් මත ජොන්සන් ගමන් ගත් දුම්රිය නියමිත වේලාවට පෙර පිටත් කර හැරීම නිසා ඔවුන් මෙම අනතුරෙන් බේරී තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ, රුසියාවේ මෙම ක්‍රියාව කිසිදු තේරුමක් නැති අමානුෂික ප්‍රහාරයක් බවයි. යුක්රේන දුම්රිය සේවයේ සේවකයන් දිනපතා මෙවැනි අවදානම් මධ්‍යයේ සිය රාජකාරිය ඉටු කිරීම වීරෝදාර ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර, පෝලන්ත විදේශ අමාත්‍යවරයා පවසන්නේ රුසියාවේ මෙම ක්‍රියාකලාපය යුරෝපයට එල්ල වූ සෘජු තර්ජනයක් බවයි. රුසියාවේ මෙම ප්‍රහාර මාලාව නේටෝ සහ යුරෝපා සංගමයේ දොරකඩටම පැමිණ ඇති බවත්, යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Discussion & Feedback