පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ 2019 වසරේ පැවති විවාහ මංගල්‍ය උත්සවය සඳහා වීරකැටිය නිවසේදී ලබාගත් රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිලක් මෙතෙක් ගෙවා නොමැති බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. විජිත කුමාර නමැති නීතිඥවරයෙක් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ සඳහන් වෙන්නේ, එම උත්සවය සඳහා රුපියල් 2,682,246ක විදුලි බිලක් වැය වී ඇති බවත්, එය මෙතෙක් අය කරගෙන නොමැති බවත්ය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක පවතින නිසා, අදාළ අනුප්‍රාප්තික ආයතනය වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමටත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
මෙම පෙත්සම්කරු පෙන්වා දෙන්නේ සාමාන්‍ය ජනතාවගේ රුපියල් 7,390ක් වැනි සුළු විදුලි බිලක් නොගෙවූ විට විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලය, මෙවැනි විශාල මුදලක් ගෙවීමට තිබියදීත් කිසිදු පියවරක් නොගැනීම නීතිය ඉදිරියේ අසමාන සැලකීමක් බවයි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. මීට පෙර අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ මෙම බිල තමන් විසින් ගෙවා දැමූ බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් සිදුවන්නේ කුමක්ද යන්න ඉදිරි අධිකරණ වාරයේදී බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback