මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර සේවා තවත් දියුණු කරන්න රුපියල් මිලියන 620ක් වටිනා අති නවීන වෛද්‍ය උපකරණ කට්ටලයක් පසුගියදා රෝහලට භාර දුන්නා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ රෝගී සත්කාරක කටයුතු සඳහා නිල වශයෙන් එක් කළ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හරහායි මේවා ලබා දී තිබෙන්නේ. මෙහිදී රුපියල් මිලියන 250ක් වටිනා හෘද කැතීටරීකරණ විද්‍යාගාරයක්, රුපියල් මිලියන 180ක් වටිනා මැමෝග්‍රැෆි ඒකකයක් සහ රුපියල් මිලියන 190ක් වටිනා සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් රෝහලට ලැබී තිබෙනවා.
මේ නවීන උපකරණ නිසා රෝගීන්ගේ පෝලිම් අඩු කරලා ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ මැමෝග්‍රැෆි යන්ත්‍රය ලංකාවේ තිබෙන අති නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර පහෙන් එකක් වීම විශේෂත්වයක්. දැනට මහනුවර ජාතික රෝහලේ රුපියල් බිලියන 8කට අධික වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ලංකාව පුරා රෝහල් පද්ධතිය තුළ හෘද කැතීටරීකරණ විද්‍යාගාර 16ක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, මහනුවර රෝහලට ලැබුණු මෙම නව පහසුකම එම වැඩපිළිවෙළේ කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇඳන් 2800ක ධාරිතාවකින් යුත් මහනුවර ජාතික රෝහලට පැමිණෙන විශාල රෝගීන් පිරිසකට මෙමගින් විශාල සහනයක් ලැබෙනු ඇති.

Discussion & Feedback