වතු ක්ෂේත්රයේ සේවය කරන සහ සේවයෙන් විශ්‍රාම ගිය සේවකයන් දස දහසකට වැඩි පිරිසකට වසර විස්සකට අධික කාලයක් තිස්සේ නොගෙවා තිබූ අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් (ETF) හිඟ මුදල් රුපියල් මිලියන 4,500කට අධික ප්‍රමාණයක් ගෙවීමට රජය පියවර අරගෙන තියෙනවා. වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසන විදිහට, මෙම ගෙවීම් කටයුතු මේ මස 10 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. වතු කම්කරුවන් මුහුණ දෙන ආර්ථික සහ සමාජීය දුෂ්කරතා මෙන්ම ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීමේ අරමුණින් අමාත්‍ය සමන්ත විදානපතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයන් 3,000කට රුපියල් මිලියන 1,961කට වැඩි මුදලකුත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන් 6,123කට රුපියල් මිලියන 2,024කට වැඩි මුදලකුත්, එල්කඩුව වැවිලි සමාගමේ සේවකයන් 1,000කට රුපියල් මිලියන 503කට වැඩි මුදලකුත් වශයෙන් බෙදා දීමට නියමිතයි. වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි බලධාරීන් පවසන්නේ.
මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන අතර, ඒ සඳහා වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විදානපතිරණ, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. වසර ගණනාවක් තිස්සේ බලා සිටි මෙම හිඟ මුදල් ලැබීම වතු කම්කරු ජනතාවට විශාල සහනයක් වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

Discussion & Feedback