භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියන 190කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස්ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙෆ්රි මොහොමඩ් නමැති සැකකරු ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලැබුණේ.
මෙම සැකකරු කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ නමැති සමාගමක් හරහා විවිධ භාණ්ඩ ආනයනය කරන බව පවසා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙම දැවැන්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලෙස විදෙස්ගත කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවා. සැකකරු තමන්ගේ නමින් සහ අදාළ සමාගමේ නමින් බැංකු ගිණුම් කිහිපයක්ම විවෘත කර මෙම ගනුදෙනු සිදු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මේ අතර, මෙම මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සමාගම් 36ක් පමණ විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback