ඌව පරණගම, මැදවෙල ප්‍රදේශයේ පවුල් 5,200කට අධික සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 160ක වියදමින් නව ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගිය බදාදා (26) සිදු වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පූර්ණ අරමුදල් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා දිනකට ජලය කියුබික් මීටර් 2,000ක් පිරිපහදු කිරීමේ හැකියාව ලැබෙනවා. මේ හරහා මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කටගොඩ යන ප්‍රදේශවල ජනතාවට ඉතා පහසුවෙන් පිරිසිදු ජලය ලබාගැනීමේ අවස්ථාව උදාවෙනවා.
මෙම නවීන ජල පවිත්‍රාගාරය තුළ වාතනය කිරීමේ ඒකක, රසායනික හා අවසාදිත ඒකක, වැලි පෙරහන් මෙන්ම ජල පොම්පාගාරයක් ඇතුළු සියලුම අංගෝපාංග ඇතුළත් වනවා. වසර ගණනාවක් තිස්සේ උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දුන් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට මෙම ව්‍යාපෘතිය සැබෑ සහනයක් වනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. එමගින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත සහ ගුණාත්මක ජල සැපයුමක් අඛණ්ඩව ලබාගැනීමට හැකිවනු ඇති.
මෙම මුල්ගල් තැබීමේ උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ප්‍රදේශයේ ජනතාවගේ දිගුකාලීන බලාපොරොත්තුවක් ඉටු කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඉතා කෙටි කාලයකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

Discussion & Feedback