DNA ද්විත්ව හෙලික්ස් ව්යුහය සොයාගැනීමේදී අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බ්රිතාන්ය විද්යාඥවරියක් වන රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින්ගේ ජීවිත කතාව ඇසුරින් අලුත් ටෙලි නාට්ය මාලාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ‘Secret of Life’ ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්යය අධ්යක්ෂණය කරන්නේ ‘Outer Banks’ කතා මාලාවේ අධ්යක්ෂිකා වැලරි වයිස් විසින්. විශේෂත්වය වන්නේ රොසලින්ඩ්ගේ ලේලිය වන ජෙසිකා ෆ්රෑන්ක්ලින් විසින්ම මෙම කතා මාලාවේ පිටපත රචනා කිරීමයි. ඇය පවසන්නේ තම නැන්දාගේ ජීවිත කතාව ලෝකයට ගෙන ඒම තමන් ලැබූ විශාලතම ගෞරවයක් බවයි.
වයස අවුරුදු 37කදී අකාලයේ මියගිය රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින්ගේ විද්යාත්මක දායකත්වය කොතරම් ප්රබලද කියනවා නම්, වසර ගණනාවකට පසුව කොවිඩ්-19 එන්නත් නිපදවීමට පවා ඇයගේ වෛරස් විද්යාත්මක පර්යේෂණ ඉවහල් වුණා. මීට පෙර නිකෝල් කිඩ්මන් වේදිකා නාට්යයකින් සහ නටාලි පෝට්මන් චිත්රපටයකින් ඇයගේ චරිතය නිරූපණය කළත්, මෙම නව ටෙලි නාට්ය මාලාව රොසලින්ඩ්ගේ ජීවිතය වඩාත් පුළුල් ලෙස සහ ගැඹුරින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය විසින් ඇයට අහිමි කළ පිළිගැනීම සහ ගෞරවය මෙම නිර්මාණය හරහා ලබා දීමට අධ්යක්ෂිකා වැලරි වයිස් ඇතුළු කණ්ඩායම සූදානම් වෙනවා.
2023 වසරේදී විද්යාඥයන් විසින් තහවුරු කළේ DNA සොයාගැනීමේ ගෞරවය ජේම්ස් වොට්සන් සහ ෆ්රැන්සිස් ක්රික්ට පමණක් නොව, රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින්ටත් සමානව හිමිවිය යුතු බවයි. එනිසාම ඇයගේ ජීවිත කතාව රූපවාහිනී තිරයට ගෙන ඒම විද්යා ලෝලීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. ඉදිරියේදී මෙම කතා මාලාව පිළිබඳ වැඩි විස්තර සහ රංගන ශිල්පීන් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙනු ඇත.

Discussion & Feedback