දැනට වහල මත සූර්ය බලශක්ති පද්ධති ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමේදී පවතින සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය ප්‍රමාණය ඇතැම් අවස්ථාවලදී ජාතික විදුලි ඉල්ලුමට වඩා වැඩි වීම නිසා මෙම සීමාවන් පැනවීමට සිදුවූ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේ. මේ සඳහා විසඳුමක් ලෙස නවීන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
මෙම බැටරි පද්ධති මගින් දහවල් කාලයේදී නිපදවෙන අතිරික්ත සූර්ය විදුලිය ගබඩා කර තබා ගැනීමට හැකි වන අතර, එමගින් ජාතික විදුලි පද්ධතියේ ධාරිතාව වැඩි කරමින් තවත් සූර්ය බලශක්ති පද්ධති සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ගෘහස්ථ සූර්ය බලශක්ති පාරිභෝගිකයන්ට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට මෙය මහත් පිටුවහලක් වේවි. තමන් නිපදවන විදුලිය දහවල් කාලයේදී ගබඩා කර රාත්‍රී කාලයේදී භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම පිළිබඳවත් රජය මේ වන විට අවධානය යොමු කරමින් සිටිනවා.
එමෙන්ම, මෙම බැටරි පද්ධති සඳහා සුදුසු ප්රමිතීන් හඳුන්වා දීමටත්, පාරිභෝගිකයන් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දීමටත් රජය සලකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මෙම නව තාක්ෂණය හරහා සූර්ය බලශක්තිය භාවිත කරන පාරිභෝගිකයන්ට මෙන්ම රටේ සමස්ත විදුලි පද්ධතියටත් විශාල වාසියක් අත්වනු ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback