ජපානයේ iQPS සමාගමට අයත් අති නවීන පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට රොකට් ලැබ් (Rocket Lab) ආයතනය පසුගියදා සමත් වුණා. ‘The Grain Goddess Provides’ ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම මුලින්ම ජූනි 30 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එය අවසන් මොහොතේ නතර කිරීමට සිදු වුණා. කෙසේ වෙතත්, සති පහක පමණ ප්‍රමාදයකින් පසුව, නවසීලන්තයේ සිට ඉලෙක්ට්‍රෝන් රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 575ක් ඉහළින් පිහිටි කක්ෂයට සාර්ථකව යැවීමට ඔවුන්ට හැකි වුණා.
MIKURA-I ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව සතුව පවතින විශේෂිත රේඩාර් තාක්ෂණය (SAR) මගින් වලාකුළු පවා විනිවිද යමින් දිවා රෑ දෙකේම ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ජපානයේ සෞභාග්‍යයේ දේවතාවිය සිහිපත් කරමින් නම් කර ඇති මෙම චන්ද්‍රිකාව, iQPS සමාගම විසින් අභ්‍යවකාශයේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රිකා 36කින් යුත් ජාලයේ තවත් එක් පියවරක්. රොකට් ලැබ් ආයතනය මේ වන විටත් මෙම ජාලය වෙනුවෙන් මෙහෙයුම් 15ක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙය ඉන් අටවැන්නයි.
මේ වන විට රොකට් ලැබ් ආයතනය සිය 92 වැනි මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඔවුන්ගේ ඉලෙක්ට්‍රෝන් රොකට්ටුව කුඩා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම සඳහා ලෝකයේම අවධානය දිනාගත් රොකට්ටුවක් බවට පත්වෙලා. මීට අමතරව, ඇමරිකානු අභ්‍යවකාශ හමුදාව සමඟ අත්සන් කර ඇති නව ගිවිසුමත් සමඟ ඉදිරියේදී ඔවුන්ගේ මෙහෙයුම් තවත් වේගවත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback