මේ දිනවල තාක්ෂණික ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාවක් බවට රොබෝ තාක්ෂණික ක්ෂේත්රය පත්වෙලා තියෙනවා. ඒ අතරින් ‘ජෙනරලිස්ට්’ (Generalist) නමැති රොබෝ තාක්ෂණික ස්ටාර්ටප් සමාගම අලුතින්ම ලබාගත් ආයෝජන වටයත් සමඟ ඔවුන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 8VC ආයතනය මූලිකත්වයෙන් ලබාගත් මෙම අතිරේක ඩොලර් මිලියන 200ක ආයෝජනයත් සමඟ, ඔවුන්ගේ සමස්ත අරමුදල් ප්රමාණය ඩොලර් මිලියන 600ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයක්. ගූගල් ඩීප්-මයින්ඩ් (Google DeepMind) ආයතනයේ හිටපු පර්යේෂකයන් කිහිප දෙනෙකු විසින් 2024 වසරේදී ආරම්භ කළ මෙම සමාගම, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.
ජෙනරලිස්ට් සමාගම මේ වන විට උත්සාහ කරන්නේ විවිධ වර්ගයේ රොබෝවරුන්ට ඕනෑම කාර්යයක් ඉටුකළ හැකි ‘මොළයක්’ වැනි කෘත්රිම බුද්ධි ආකෘතියක් නිර්මාණය කිරීමටයි. ඔවුන්ගේ අලුත්ම ‘Gen 1.5’ තාක්ෂණය හරහා තත්පර 3ත් 12ත් අතර වීඩියෝ දර්ශන නැරඹීමෙන් රොබෝවරුන්ට අලුත් වැඩක් වුණත් ඉතා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. දැනටමත් ලොව ප්රමුඛ පෙළේ ආයෝජකයන් රැසකගේ සහයෝගය ඔවුන්ට ලැබී තිබෙනවා. රොබෝ තාක්ෂණය තුළත් ‘ChatGPT’ වැනි විප්ලවීය වෙනසක් සිදුවෙමින් පවතින බවට මෙම ආයෝජන මගින් පැහැදිලි වෙනවා. කෙසේ වෙතත්, අන්තර්ජාලයේ ඇති සියලුම දත්ත රොබෝවරුන්ට පුහුණු කිරීම අපහසු නිසා, සම්පූර්ණයෙන්ම ස්වාධීන රොබෝ තාක්ෂණයක් බිහිවීමට තවමත් කාලයක් ගතවනු ඇති බවයි විශේෂඥයන් පවසන්නේ.

Discussion & Feedback