ලොව ප්‍රසිද්ධ මූල්‍ය තාක්ෂණික සමාගමක් වන රෙවොලට් (Revolut) ආයතනයට සම්බන්ධ පාරිභෝගිකයන්ගේ තොරතුරු විශාල ප්‍රමාණයක් අනවසර පාර්ශවයකට කාන්දු වී ඇති බව වාර්තා වෙනවා. රජයේ ආයතනයක නිල විද්‍යුත් තැපැල් ලිපිනයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් සිදුකළ ඉතා දියුණු මට්ටමේ වංචනික ක්‍රියාවක් හරහා මෙම දත්ත ලබාගෙන තිබෙනවා. මෙහිදී පාරිභෝගිකයන්ගේ උපන් දින, ලිපිනයන්, දුරකථන අංක මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍රවල පිටපත් පවා අනවසර පාර්ශවයන් අතට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
මෙම සිදුවීමෙන් පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බව රෙවොලට් ආයතනය අවධාරණය කරනවා. ඔවුන් පවසන පරිදි, මෙම වංචාව හඳුනාගත් වහාම අදාළ විද්‍යුත් තැපැල් ලිපිනය අවහිර කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අදාළ නියාමන ආයතන දැනුවත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් වෙත කෙලින්ම දැනුම් දීම් සිදුකර ඇති අතර, තවදුරටත් ආරක්ෂක පියවරයන් දැඩි කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලොව පුරා මිලියන 80කට අධික පාරිභෝගිකයන් පිරිසක් සිටින රෙවොලට් ආයතනය, මෑතකදී සිය බැංකු සේවා ලොව පුරා රටවල් රැසකට ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම දත්ත කාන්දුවීම එම ආයතනයේ කීර්ති නාමයට මෙන්ම ඉදිරි ව්‍යාපාරික කටයුතුවලටත් යම් බලපෑමක් එල්ල කරනු ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. පාරිභෝගිකයන් ලෙස මෙවැනි අවස්ථාවලදී තමන්ගේ ගිණුම්වල ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වීම ඉතා වැදගත් වෙනවා.

Discussion & Feedback