ලොව ප්‍රසිද්ධ මූල්‍ය තාක්ෂණික සමාගමක් වන රෙවොලට් (Revolut) ආයතනය තමන්ගේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත කාන්දුවක් සිදුව ඇති බව පසුගියදා තහවුරු කළා. මේ සිදුවීම වෙලා තියෙන්නේ රජයේ ආයතනයක නමින් පැමිණි ව්‍යාජ විද්‍යුත් තැපෑලක් (Email) හරහායි. මේ වංචනික පිරිස සැබෑ රජයේ ආයතනයක ඩොමේන් එකක් භාවිතා කරමින් රෙවොලට් ආයතනය රවටා පාරිභෝගිකයන්ගේ රහස්‍ය තොරතුරු ලබාගෙන තියෙනවා. මේ නිසා පාරිභෝගිකයන්ගේ හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, ලිපිනයන්, දුරකථන අංක සහ ගනුදෙනු ඉතිහාසය වැනි සංවේදී දත්ත අනවසර පාර්ශ්වයකට නිරාවරණය වෙලා තියෙනවා.
මේ සිදුවීමෙන් බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් සංඛ්‍යාව සීමිත බවත්, ඔවුන්ට ඒ පිළිබඳව දැනටමත් කෙලින්ම දැනුම් දී ඇති බවත් රෙවොලට් ප්‍රකාශකයෙක් සඳහන් කළා. කෙසේ වෙතත්, හරියටම කොපමණ පිරිසක් මේකට ගොදුරු වුණාද කියන එක ගැන ඔවුන් තවමත් නිශ්චිතව කියලා නැහැ. මේ වංචාව හඳුනාගත්ත ගමන්ම අදාළ විද්‍යුත් තැපැල් ලිපිනය අවහිර කරලා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට සමාගම පියවර අරන් තියෙනවා. රෙවොලට් පද්ධතිවලට හෝ පාරිභෝගිකයන්ගේ මුදල්වලට කිසිදු හානියක් සිදුවෙලා නැති බවත් ඔවුන් සහතික කරනවා.
ලොව පුරා මිලියන 80කට අධික පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සිටින රෙවොලට් ආයතනය මේ වන විටත් ලෝකයේ රටවල් 30කට වඩා වැඩි ගණනක බැංකු සේවා සපයනවා. මේ සිදුවීම ගැන ක්‍රිප්ටෝ ආරක්ෂක පර්යේෂකයෙක් වන ZachXBT පවා අනතුරු අඟවා තිබුණේ, මේ දත්ත කාන්දුව විශේෂයෙන්ම ඉහළ වත්කම් සහිත පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන සිදුවූවක් බවයි. ඒ නිසා ඔයාලත් රෙවොලට් වැනි සේවාවන් භාවිතා කරනවා නම්, සැක සහිත විද්‍යුත් තැපැල් ගැන ඉතාම විමසිල්ලෙන් ඉන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback