දැන් ඉතින් රෙඩිට් (Reddit) භාවිතා කරන අයටත් තමන් කැමතිම පෝස්ට් එකක් කියවනවා වෙනුවට අහගෙන ඉන්න පුළුවන් අලුත් පහසුකමක් ලැබෙන්න යනවා. ටික්ටොක් (TikTok) සහ ඉන්ස්ටග්රෑම් රීල්ස් (Reels) වල අපි නිතරම දකින විදිහේ, රෙඩිට් කතාන්දර හඬ නගා කියවන වීඩියෝ අත්දැකීමක් තමයි රෙඩිට් සමාගම විසින් අලුතින්ම අත්හදා බලන්න පටන් ගන්නේ. මේ හරහා පරිශීලකයන්ට තමන්ගේ වැඩක් කර කර ඉන්න අතරතුරේදී වුණත් රෙඩිට් පෝස්ට් එකක් ඕඩියෝ එකක් විදිහට අහන්න හෝ වීඩියෝ එකක් විදිහට බලන්න අවස්ථාව ලැබෙනවා.
මේ අලුත් විශේෂාංගය ගැන රෙඩිට් ප්රධාන විධායක නිලධාරී ස්ටීව් හෆ්මන් කියන්නේ, දැනටමත් අන්තර්ජාලයේ වෙනත් වේදිකාවල මෙවැනි රෙඩිට් කතාන්දර අහන්න මිනිස්සු ගොඩක් කැමති බවයි. ඒ නිසාම මේ අත්හදා බැලීම හරහා රෙඩිට් එකටම ආවේණික වූ ආකාරයකට මේ අත්දැකීම ලබා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේකෙන් මුල් පෝස්ට් එක හෝ කමෙන්ට්ස් මැකිලා යන්නේ නැහැ. ඕනෑම කෙනෙක්ට තමන්ට කැමති විදිහකට පෝස්ට් එක කියවන්න හෝ අහන්න පුළුවන් විදිහට තේරීම් ලබා දීලා තියෙනවා.
දැනට මේ පහසුකම අත්හදා බලන්නේ ඉංග්රීසි භාෂාවෙන් තෝරාගත් පෝස්ට් කිහිපයක් සඳහා පමණයි. ඇන්ඩ්රොයිඩ් සහ අයි.ඕ.එස් (iOS) ඇප් එක හරහා මේ අත්දැකීම ලබාගන්න පුළුවන්. ඉස්සරහට මේක සාර්ථක වුණොත් අපිට රෙඩිට් එකේ තියෙන රසවත්ම කතාන්දර තවත් පහසුවෙන් රසවිඳින්න පුළුවන් වෙයි.

Discussion & Feedback