‘ද රියල් හවුස්වයිව්ස් ඔෆ් ඔරේන්ජ් කවුන්ටි’ (The Real Housewives of Orange County) රියැලිටි වැඩසටහන හරහා ලොව පුරා ප්රසිද්ධියට පත් වූ ජීනා කියෝට වයස අවුරුදු 70දී දිවෙහි පිළිකාවක් වැළඳී ඇති බව ඇගේ දියණිය වන කාරා බොස්වර්ත් තහවුරු කර තිබෙනවා. මුලින්ම ඇයට දිවෙහි වේදනාකාරී තුවාලයක් ඇති වී තිබුණත්, එය දතක් නිසා ඇති වූවක් යැයි සිතා ඇය දන්ත වෛද්යවරයකු හමුවී ප්රතිකාර ලබාගෙන තිබුණා. නමුත් පසුව සිදුකළ පරීක්ෂණවලින් ඇයට පිළිකාවක් ඇති බව අනාවරණය වී තිබෙනවා.
මේ වන විට ජීනා දැඩි අසීරු ප්රතිකාර ක්රමවලට මුහුණ දෙමින් සිටිනවා. ශල්යකර්ම කිහිපයකට පසු ඇය මේ වන විට රසායනික චිකිත්සාව (Chemotherapy), විකිරණ ප්රතිකාර සහ ප්රතිශක්තිකරණ ප්රතිකාරවල පස්වන සතියේ පසුවනවා. මෙම ප්රතිකාර නිසා ඇය දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින අතර, උගුරේ සහ දිවේ ඇති වේදනාව නිසා ආහාර ගැනීමට පවා ඇයට විශාල අපහසුතාවක් දැනෙනවා. ඇයට වැඩ කිරීමට නොහැකි වීම නිසා මේ වන විට විශාල මූල්ය අර්බුදයකට ද ඇය මුහුණ දී සිටිනවා.
ඇගේ දියණිය මේ වන විට මවගේ ප්රතිකාර වියදම් සහ දෛනික ජීවන වියදම් පියවා ගැනීම සඳහා GoFundMe වෙබ් අඩවිය හරහා මුදල් එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දැනටමත් ඇය ඉලක්ක කරගත් මුදලින් කොටසක් ලැබී ඇති අතර, රසික රසිකාවියන් ඇයට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමින් සිටිනවා. 2006 වසරේ සිට මෙම ජනප්රිය වැඩසටහන සමඟ සම්බන්ධ වූ ජීනා, රියැලිටි තරු අතර ඉතාමත් ජනප්රිය චරිතයක්.

Discussion & Feedback