ඇමරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ පදිංචිව සිටියදී අතුරුදහන් වූ 84 හැවිරිදි නැන්සි ගුත්රීගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ඇයව පැහැරගත් පිරිස විසින් එවන ලද කප්පම් ලිපි දෙකක් පයිමා ප්රාන්තයේ ෂෙරිෆ් දෙපාර්තමේන්තුව විසින් ප්රසිද්ධ කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අලුත් හෝඩුවාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. පළමු ලිපියෙන් ඔවුන් ඉල්ලා තිබුණේ ඇයව නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4ක බිට්කොයින් මුදලක් ලබා දෙන ලෙසයි. එම ලිපියේ ඇය ආරක්ෂිතව සිටින බව සඳහන් වුණත්, දෙවන ලිපියෙන් ඉතාම කණගාටුදායක පුවතක් වාර්තා වුණා.
පෙබරවාරි 6 වන දින මාධ්ය ආයතනයකට ලැබුණු දෙවන ලිපියේ සඳහන් වෙන්නේ නැන්සි ගුත්රී පැහැරගෙන සුළු වේලාවකට පසු හෘදයාබාධයකින් මියගිය බවයි. ඇයව මිය යාමට ඉඩ හැරීම ගැන තමන් කණගාටු වන බවත්, ඇයව ස්වභාවික පරිසරයක භූමදාන කළ බවත් එම ලිපියේ සඳහන් වෙනවා. කෙසේ වෙතත්, මේ ලිපි ලියූ පුද්ගලයා ගැන දන්නා කෙනෙක් සිටී නම් වහාම ඉදිරිපත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා. පවුලේ අය ඇයව සොයා දෙන කෙනෙකුට ඩොලර් මිලියනයක ත්යාගයක් පිරිනැමීමටත් තීරණය කර තිබෙනවා. මේ ගැන යම් තොරතුරක් දන්නවා නම් වහාම FBI ආයතනයට දැනුම් දෙන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Discussion & Feedback