එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළා. රටේ ප්රජාතන්ත්රවාදය සහ ජනතා පරමාධිපත්‍යය බරපතල තර්ජනයකට ලක්ව ඇති බව පවසන ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තමන් තරයේ හෙළා දකින බව සඳහන් කළා. විශේෂයෙන්ම ඩී.ඒ. රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් බව සිහිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා, නාමල් රාජපක්ෂ යනු එම පවුලේ සාමාජිකයෙක් බවත් පෙන්වා දුන්නා.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන්ද නැතිනම් වෙනත් තැන්වලින්ද පාලනය වන්නේ දැයි සැකයක් මතුවන බවත් ඔහු ප්‍රකාශ කළා. නීතිඥ සංගමය, වෛද්‍යවරුන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්රහාරයන් රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය දුර්වල කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන බවත්, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දේශපාලන සහ සිවිල් සංවිධාන එකතු විය යුතු බවත් ඔහු අවධාරණය කළා.
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී නව මුහුණුවරකින් සහ නවීන ප්‍රතිපත්ති මාලාවකින් රට ගොඩනැගීමට සූදානම් වන බවත්, දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ඒ පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback