දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව විසින් සැලසුම් කර තිබූ පැය 48ක සංකේත වැඩවර්ජනය එළඹෙන සැප්තැම්බර් 17 සහ 18 යන දිනවලදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණත්, එහිදී කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ගැටලු සහ මගීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
වෘත්තීය සමිති පවසන්නේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. දෙපාර්තමේන්තුව යළි ගොඩනැගීමට සහ මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට නම් ඔහු වහාම ඉවත් කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා. අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ඉල්ලීම සාධාරණ බව පිළිගත්තත්, ඒ සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බව පැවසුවා. කෙසේ වෙතත්, වසර දෙකක් තිස්සේ ඇදී යන මෙම ගැටලුවට තවදුරටත් කල් ලබා දිය නොහැකි බව පවසමින් වෘත්තීය සමිති එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ අනුව, කිසිදු වෙනසකින් තොරව සැප්තැම්බර් 17 සහ 18 දිනවලදී දුම්රිය ධාවනයෙන් ඉවත් වී වැඩවර්ජනය කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Discussion & Feedback