ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාර්ට් මුදු නිෂ්පාදකයෙක් වන අල්ට්රාහියුමන් (Ultrahuman) සමාගම අලුතින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක ආයෝජනයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ සඳහා ක්වාල්කොම් (Qualcomm) සමාගමේ වෙන්චර් අංශය ඇතුළු ප්‍රධාන ආයෝජකයන් කිහිපයක්ම දායක වෙලා තියෙනවා. මේ වන විට එම සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 365ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. අල්ට්රාහියුමන් සමාගමේ බලාපොරොත්තුව වෙන්නේ මේ ස්මාර්ට් මුදු හුදෙක් සෞඛ්‍ය දත්ත මනින උපකරණයක් පමණක් නොවෙයි, පරිගණකයක් ලෙස වැඩ කළ හැකි උපාංගයක් බවට පත් කිරීමයි.
මේ සඳහා ඔවුන් ක්වාල්කොම් සමාගම සමඟ එක්ව නවීන චිප් තාක්ෂණයෙන් යුත් මුදු නිර්මාණය කිරීමට කටයුතු කරනවා. මේ නිසා දුරකථනයක හෝ ක්ලවුඩ් තාක්ෂණයක පිහිටක් නැතිවම මුදුව තුළම මෘදුකාංග සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම, මේ මුදු ක්‍රීඩා පාලකයක් (Game controller) ලෙස හෝ මූසිකයක් ලෙස භාවිතා කරන්නත්, අනාගතයේදී මෝටර් රථ අගුළු ඇරීමටත් යොදා ගන්න පුළුවන් වෙයි. දැනටමත් ඔවුන්ගේ පවතින මුදු සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම් හරහා මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ක්‍රීඩා පාලනය සහ AI විශේෂාංග ලබා දීමට සමාගම සැලසුම් කරලා තියෙනවා.
අල්ට්රාහියුමන් සමාගම මේ වන විට මුදු ලක්ෂ 8කට වඩා අලෙවි කර ඇති අතර, ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 140ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පරිශීලකයාගේ හෘද ස්පන්දනය සහ ශරීර උෂ්ණත්වය වැනි දත්ත පවා ක්‍රීඩා කරන අතරතුර හඳුනා ගැනීමට හැකි වීම නිසා, මේ ස්මාර්ට් මුදු තාක්ෂණ ලෝකයේ අලුත් පෙරළියක් කරාවි කියලා තමයි තාක්ෂණික විශේෂඥයන් පවසන්නේ.

Discussion & Feedback