රුසියාවේ ප්‍රකට ‘නොවායා ගැසෙටා’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ නොබෙල් සාම ත්‍යාගලාභී දිමිත්‍රි මුරාටොව් පවසන්නේ, වත්මන් යුක්රේන යුද්ධය අවසානයේ රුසියාවට කිසිදු ආකාරයක ජයග්‍රහණයක් හිමි නොවනු ඇති බවයි. වසර ගණනාවක් තිස්සේ දෙරටේම මිලියනයකට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති පසුබිමක, මෙය ජයග්‍රහණයක් ලෙස හැඳින්විය නොහැකි බව ඔහු අවධාරණය කරනවා. යුක්රේනය විනාශ කිරීමට හැකි වුවත්, එය යටත් කර ගැනීමට රුසියාවට නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
රුසියාව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැඩි ලෙස මර්දනයට ලක්ව ඇති බවත්, යුද්ධයට විරුද්ධ වීම නිසා මේ වන විටත් 1,500කට අධික පිරිසක් සිරගත කර ඇති බවත් මුරාටොව් පවසනවා. මෙය සෝවියට් සමයේ පැවති තත්ත්වයටත් වඩා දරුණු තත්ත්වයක්. විශේෂයෙන්ම රුසියානු රාජ්‍ය මාධ්‍ය හරහා පවා න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා භයානක ප්‍රවණතාවක් බව ඔහු අනතුරු අඟවනවා. පුටින්ගේ සිතේ ඇත්තේ කුමක්දැයි කිසිවෙකුටත් නිශ්චිතව කිව නොහැකි වුවත්, න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ කතිකාවන් ඉහළ යාම ලෝකයටම තර්ජනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රුසියාවේ ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් යුද්ධය ආරම්භ කළත්, අද වන විට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර රුසියාවේ ඇතුළතටම එල්ල වන තත්ත්වයක් උදාවී තිබෙනවා. මේ සියල්ල දෙස බලන විට, රුසියාව අපේක්ෂා කළ අරමුණු ඉටුවී නොමැති බවත්, රටේ ආරක්ෂාව තවදුරටත් අවදානමේ පවතින බවත් මුරාටොව් පවසනවා.

Discussion & Feedback