ප්‍රසිද්ධ බේකරි ජාලයක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) ආයතනය තමන්ගේ ශාඛාවක කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය අප්‍රේල් 20 වැනිදා සිදුකළ වැටලීමකදී, අප්‍රේල් 16 වැනිදා කල් ඉකුත් වූ ස්ට්‍රෝබෙරි ක්‍රීම් බනිස් කිහිපයක් අලෙවිය සඳහා තබා තිබියදී සොයාගැනීමයි මෙම සිද්ධියට මුල් වුණේ. මෙය අතපසුවීමකින් සිදුවූවක් බවත්, ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවීමට වගබලා ගන්නා බවත් ඔවුන් පවසනවා.
තමන්ගේ නිෂ්පාදනවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලීන කල් ඉකුත් වීමේ දින නියම කර තිබුණත්, එම ක්‍රියාවලියේදී පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතු බව ඔවුන් පිළිගන්නවා. මේ නිසා සියලුම ශාඛාවල ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත් වීමේ දින පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. පාරිභෝගිකයන්ට යම් ගැටලුවක් හෝ යෝජනාවක් ඇත්නම් ඔවුන්ගේ පාරිභෝගික සේවා අංශය හරහා සම්බන්ධ විය හැකි බවත් ඔවුන් දැනුම් දෙනවා.
මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීමේදී එහි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය හොඳින් පරීක්ෂා කර බලන ලෙසයි. යම් හෙයකින් කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු ඇත්නම්, වහාම 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් සිහිපත් කරනවා.

Discussion & Feedback