මෑතකදී බන්ධනාගාර පහක ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා රුපියල් මිලියන 255කට අධික දේපළ හානියක් සිදුවෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවලට තමයි මේ විදිහට හානි සිදුවෙලා තියෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී තමයි මේ තොරතුරු අනාවරණය වුණේ. සිරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අවම කරගන්න නම් ඔවුන්ට අවශ්‍ය මානසික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්න ඕන කියලා මෙහිදී සාකච්ඡා වුණා. ඒ වගේම පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන්නත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් මඟහරවා ගන්න විශ්‍රාමික නිලධාරීන්ගේ සහාය ලබාගන්නත් ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා.
මේ අතර පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතිය ගැනත් මෙහිදී අවධානය යොමු වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල්වල දරුවන් අතරත් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම ගැන බරපතළ කතාබහක් ඇති වුණා. දරුවන්ගේ හැසිරීම් ගැන දෙමාපියන් නිතරම අවධානයෙන් ඉන්න ඕන බවත්, අවශ්‍ය නම් ෆාමසිවලින් ලබාගන්න පුළුවන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල භාවිත කරන්න පුළුවන් බවත් මෙහිදී පෙන්වා දුන්නා. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වීම වළක්වන්නත්, ඒ හරහාම මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීම් කරන්නත් පියවර ගන්නා බව බලධාරීන් පවසනවා. මේ සඳහා අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන රැසක් එකතු වෙලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

Discussion & Feedback