යේමන වෙරළ තීරයේදී ඉන්දීය ධජය සහිත නෞකාවක් අද්භූත ප්රක්ෂේපණ අවියකින් එල්ල වූ ප්‍රහාරයකට ලක්ව මුහුදුබත් වී තිබෙනවා. ‘එම්.එස්.වී ෆයිස් නූර් ඔලියා’ නමින් හැඳින්වෙන මෙම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුම සිටි අතර, වාසනාවකට මෙන් ඔවුන් සියලු දෙනාම බේරා ගැනීමට හැකි වී ඇති බව ඉන්දීය නාවික අමාත්‍ය සර්බානන්ද සොනෝවාල් තහවුරු කළා. මෙම ප්‍රහාරය කිසිදු හේතුවක් නොමැතිව සිදු කළ එකක් බව පවසන ඉන්දීය බලධාරීන්, කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වන මෙවැනි තර්ජන ඉතා බරපතල බවත්, ජාත්‍යන්තර නීතිවලට අනුව වෙළඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් අවධාරණය කරනවා.
පසුගිය කාලයේ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ලෝකයේ බොහෝ නෞකා රතු මුහුද හරහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පෙළඹුණා. කෙසේ වෙතත්, යේමනයේ හූති සටන්කාමීන් විසින් මෙම කලාපයේ නෞකා ඉලක්ක කරමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය ඉතා උණුසුම් වී තිබෙනවා. යේමන රජය මෙම ප්‍රහාරය පිටුපස ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන් සිටින බවට චෝදනා කළත්, ඔවුන් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු අදහසක් පළ කර නැහැ. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පැවතුණත්, තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති වීම ගෝලීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

Discussion & Feedback