අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජර්මනියේ ‘අයිසාර් ඒරොස්පේස්’ (Isar Aerospace) ආයතනය විසින් නිපදවූ ‘ස්පෙක්ට්රම්’ රොකට්ටුව සාර්ථකව පෘථිවි කක්ෂයට පිවිසීමට සමත් වුණා. බටහිර යුරෝපීය භූමියක සිට මෙවැනි දියත් කිරීමක් සාර්ථක කරගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. නෝර්වේ රාජ්යයේ පිහිටි ඇන්ඩෝයා අභ්යවකාශ මධ්යස්ථානයෙන් දියත් කළ මෙම රොකට්ටුව, විනාඩි හතකට පසු පෘථිවිය වටා ඇති ඉලිප්සාකාර කක්ෂයක ස්ථාපිත වුණා. මෙය යුරෝපයේ අභ්යවකාශ තාක්ෂණික දියුණුවට ලැබුණු විශාල ජයග්රහණයක් ලෙසයි විද්යාඥයින් හඳුන්වන්නේ.
ඇත්තටම මේ ගමන එතරම් ලේසි වුණේ නැහැ. මීට පෙර මාර්තු මාසයේදී සිදුකළ පළමු උත්සාහය අසාර්ථක වුණේ තාක්ෂණික දෝෂයක් නිසා රොකට්ටුව පෘථිවියට කඩා වැටුණු නිසයි. ඉන්පසුව කාලගුණික බාධා සහ විවිධ තාක්ෂණික ගැටලු නිසා දියත් කිරීම් කිහිපයක්ම කල් දැමීමට සිදුවුණා. නමුත් අභියෝග හමුවේ පසුබට නොවූ ඉංජිනේරු කණ්ඩායම, එම දෝෂ සියල්ල නිවැරදි කරමින් අද දින මෙම ජයග්රහණය ලබාගත්තා. මෙවර රොකට්ටුව මගින් කුඩා චන්ද්රිකා පහක් සහ විද්යාත්මක පර්යේෂණ උපකරණ කිහිපයක් සාර්ථකව කක්ෂගත කිරීමටත් ඔවුන්ට හැකි වුණා.
මෙම සාර්ථකත්වයත් සමඟ අයිසාර් ආයතනය බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී කුඩා සහ මධ්යම ප්රමාණයේ චන්ද්රිකා අභ්යවකාශයට යැවීමේ ප්රධානතම ආයතනය බවට පත්වීමටයි. කිලෝග්රෑම් 1000ක් දක්වා බරක් පෘථිවි පහළ කක්ෂයට රැගෙන යාමේ හැකියාව මෙම ස්පෙක්ට්රම් රොකට්ටුව සතුයි. මේ ජයග්රහණය යුරෝපයේ අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයට අලුත් බලාපොරොත්තුවක් ගෙනවිත් තියෙනවා.

Discussion & Feedback