කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැව නැවතත් සුන්දර ස්ථානයක් බවට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ඉංජිනේරු නාහිල් විජේසූරිය මහතා විසිනුයි. මුහුදු ජලය භාවිත කරමින් කෙටි කාලීන විසඳුමක් ලෙස මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන් ගැන දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදි, බේරේ වැවේ ස්ථාන 35කින් ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේදී නයිට්රජන්, පොස්පරස් සහ ඇමෝනියා වැනි දූෂක ද්‍රව්‍ය ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන තිබෙනවා. මේ නිසා වැවේ ජලයේ ඔක්සිජන් මට්ටම ද පහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. දැනටමත් වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ජලජ පැලෑටි පිරිසිදු කිරීම සහ ගංගාරාම විහාරය අසල රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්වී රජයේ අයවැය ප්‍රතිපාදන යටතේ බේරේ වැව පවත්වාගෙන යාම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback