මැගසින් බන්ධනාගාරය ඇතුළට මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකිරීමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙක්ව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සිද්ධිය මුලින්ම එළියට ආවේ ගල්කිස්ස ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් එක්ක 32 හැවිරිදි පුද්ගලයෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තට පස්සේ. ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කරලා තියෙන්නේ මැගසින් බන්ධනාගාරයේ ඉන්න රැඳවියෙක් වට්ස්ඇප් හරහා සම්බන්ධ වෙලා මේ මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගන්නා ලෙස උපදෙස් දුන්නු බවයි.
මේ පාර්සලය බොරැල්ල වනාත පාරේදී තවත් කෙනෙක්ට භාර දෙන්න නියමිතව තිබියදී පොලිසිය සැඟවී සිට වැටලීම සිදු කළා. ඒ වෙලාවේ බන්ධනාගාර ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් පාර්සලය ලබාගන්න ආපු වෙලාවේ තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. පරීක්ෂණවලදී හෙළි වුණේ ඔහු මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන 53 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙක් බවයි. බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරලා, පසුගිය ජනවාරි මාසයේදී තමයි මැගසින් බන්ධනාගාරයට මාරුවීමක් ලබාගෙන ඇවිත් තියෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු සහ බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. බන්ධනාගාරයක් වැනි ආරක්ෂිත ස්ථානයක රාජකාරි කරන නිලධාරියෙක්ම මෙවැනි ජාවාරමකට සම්බන්ධ වීම සමාජය තුළ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.

Discussion & Feedback