බ්රිතාන්යයේ ජනප්රිය ඩේලි මේල් පුවත්පත් ආයතනයට එරෙහිව හැරී කුමරු, එල්ටන් ජෝන් සහ තවත් ප්රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් ගොනු කරපු පෞද්ගලිකත්වයට හානි කිරීමේ නඩුව ඔවුන්ට පරාජය වෙන්න සිද්ධ වුණා. මේ නඩුව පරාජය වීමත් එක්ක, ඩේලි මේල් ආයතනයේ නීතිමය වියදම් පියවීම සඳහා අදාළ පාර්ශ්වයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 13ක මුදලක් ගෙවන්න කියලා අධිකරණය නියෝග කරලා තියෙනවා. මේ මුදල අගෝස්තු 28 වැනිදාට කලින් ගෙවන්න ඕනේ කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. හැබැයි මේක ආරම්භක ගෙවීමක් විතරයි. ඉදිරියේදී ඔවුන්ට තවත් විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.
මේ පිරිස චෝදනා කරලා තිබුණේ ඩේලි මේල් ආයතනය නීතිවිරෝධී ලෙස තොරතුරු ලබා ගත් බවත්, පුද්ගලික දුරකථන ඇමතුම්වලට සවන් දුන් බවත්, වෛද්ය වාර්තා ලබා ගැනීමට වංචනික ක්රම භාවිතා කළ බවත් කියලයි. නමුත් අධිකරණයේදී මේ චෝදනා ඔප්පු කරගන්න ඔවුන්ට බැරි වුණා. විනිසුරුවරයා ප්රකාශ කළේ මේ චෝදනා සනාථ කිරීමට ප්රමාණවත් සාක්ෂි නොමැති බවයි. මේ තීන්දුව සම්බන්ධයෙන් හැරී කුමරු තමන්ගේ දැඩි අප්රසාදය පළ කරලා තිබුණත්, ඩේලි මේල් ආයතනය මේ චෝදනා මුල සිටම ප්රතික්ෂේප කරලා තිබුණා. කොහොම වුණත්, මේ නඩු තීන්දුවත් එක්ක හැරී කුමරු ඇතුළු පිරිසට විශාල මූල්යමය පාඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

Discussion & Feedback