ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් ‘Maxton Hall – The World Between Us’ කතා මාලාවේ රසිකයන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. මේ කතා මාලාවේ තුන්වන සහ අවසන් කතා සමය එළඹෙන දෙසැම්බර් 9 වැනිදා සිට Prime Video හරහා නරඹන්නන්ට නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. මෝනා කැස්ටන්ගේ නවකතා ත්‍රිත්වය ඇසුරින් නිර්මාණය වුණු මේ ජර්මානු කතා මාලාව, තරුණ පරපුර අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වුණා. මෙවරත් රූබි ලෙස හැරියට් හර්බිග්-මැටන් සහ ජේම්ස් ලෙස ඩේමියන් හාර්ඩුන්ග් ප්‍රධාන චරිත නිරූපණය කරමින් කතාවට එක්වෙනවා.
තුන්වන කතා සමයේදී රූබිව මැක්ස්ටන් හෝල් විද්‍යාලයෙන් අත්හිටුවීමත් සමඟ කතාවේ උණුසුම්ම කොටස ආරම්භ වෙනවා. ඇයව පාසලෙන් නෙරපා හැරීමට ජේම්ස් සම්බන්ධ බවට සාක්ෂි ලැබීමත් සමඟ රූබිගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යාමේ සිහිනය මෙන්ම ඇය සහ ජේම්ස් අතර තිබෙන ආදර සම්බන්ධතාවයත් විශාල අභියෝගයකට ලක්වෙනවා. මේ කතා සමය අධ්‍යක්ෂණය කරන්නේ මාටින් ශ්රෙයර් විසින්. පෙර කතා සමයන්වලදී මෙන්ම මෙවරත් දක්ෂ නළු නිළියන් රැසක් මේ සඳහා දායක වෙනවා.
Prime Video ආයතනය මේ වන විටත් අවසන් කතා සමය වෙනුවෙන් විශේෂ පෝස්ටරයක් නිකුත් කරලා තියෙනවා. පසුගිය කාලයේදී වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වුණු මේ කතා මාලාව, Prime Video හි තරුණ පරපුර ඉලක්ක කරගත් සාර්ථකම නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් දෙසැම්බර් මාසයේදී මේ ආදර කතාවේ අවසානය කොහොම වෙයිද කියලා බලන්න හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback