ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් නාසා ආයතනයේ ආටෙමිස් II සඳ ගවේෂණ මෙහෙයුමට එක්වූ ගගනගාමීන් සිව්දෙනාට අභ්යවකාශ ක්ෂේත්රයේ පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන ‘කොන්ග්රස් අභ්යවකාශ ගෞරව පදක්කම’ පසුගියදා පිරිනමනු ලැබුවා. හියුස්ටන්හි පිහිටි ජොන්සන් අභ්යවකාශ මධ්යස්ථානයේ පැවති උත්සවයකදී මෙම සම්මාන ප්රදානය සිදුකෙරුණු අතර, අතිශය දක්ෂ සහ නිර්භීත පුද්ගලයන් වෙනුවෙන් පමණක් පිරිනැමෙන මෙම දුර්ලභ සම්මානය ලැබීම ඔවුන්ගේ සුවිශේෂී කැපවීමට ලැබුණු ගෞරවයක් බව ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙම ආටෙමිස් II මෙහෙයුම හරහා රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්රිස්ටිනා කොච් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් යන පිරිස සඳ වටා ගමන් කළා. 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසුව පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු මිනිසුන් කණ්ඩායම වන්නේ මොවුන්. විශේෂයෙන්ම සඳ වටා ගමන් කරමින් සිටියදී ඔවුන්ට පෘථිවියෙන් පිටත සිට පූර්ණ සූර්යග්රහණයක් දැකගැනීමේ දුර්ලභ අවස්ථාවද හිමිවුණා. අනාගතයේ සඳ මත ස්ථිර කඳවුරක් පිහිටුවීමේ නාසා ආයතනයේ දැවැන්ත සැලැස්මට මෙම මෙහෙයුම විශාල ශක්තියක් වුණා.
මෙම සම්මානය මීට පෙර නීල් ආම්ස්ට්රෝං වැනි අභ්යවකාශ ක්ෂේත්රයේ දැවැන්තයන්ට පමණක් හිමිවී තිබීම විශේෂත්වයක්. අභ්යවකාශ ගවේෂණයේ නව ස්වර්ණමය යුගයකට ඇමරිකාව පිවිසෙමින් සිටින බවත්, මෙම ගගනගාමීන් මුළු මහත් මානව වර්ගයාටම ආදර්ශයක් බවත් ජනාධිපති ට්රම්ප් වැඩිදුරටත් අවධාරණය කළා. අභ්යවකාශයේ තරු අසලටම ගොස් ලෝකයට නව බලාපොරොත්තු ගෙන දුන් මෙම වීරයන්ගේ ගමන අනාගත පරපුරට විශාල ආශ්වාදයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback