ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දැවැන්ත ජන රැලිය මාලාවක් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙලෙහි තවත් පියවරක් ලෙස මෙම රැලිය මාලාව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර ඇති බවයි. ඒ වගේම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පක්ෂයේ කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුත් මේ වන විට ඉතා සාර්ථකව සිදු කෙරෙනවා.
මේ අතර විපක්ෂයේ ඇතැම් පාර්ශව ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගී ඇතැයි පවසන ප්‍රකාශවලට අමාත්‍යවරයා දැඩි පිළිතුරක් ලබා දුන්නා. ඔහු අභියෝග කරන්නේ රහස් සාකච්ඡා පවත්වමින් සිටිනවා වෙනුවට, ඇත්තටම ජනතාව ආණ්ඩුවට එරෙහි නම් එය වීදි බැස පෙන්වන ලෙසයි. “ජී.එල්. පීරිස් මහත්තයාගේ ගෙදර රෑට රහස් සාකච්ඡා කරනවා වෙනුවට, පුළුවන් නම් පාරට බැහැලා ජනතාව එකතු කරලා පෙන්වන්න” යැයි ඔහු විපක්ෂයට සිහිපත් කළා. විපක්ෂයේ සිටියදී තමන් ජනතාව වෙනුවෙන් කළ අරගල සහ වැඩපිළිවෙල දෙස බලා හෝ ඔවුන්ට යම් අවබෝධයක් ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
සැප්තැම්බර් 06 වැනිදායින් ආරම්භ වන මෙම ජන රැලිය මාලාව හරහා ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි. දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කරමින් ආරම්භ වන මෙම වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ රට පුරාම ක්‍රියාත්මක වනු ඇති.

Discussion & Feedback